HappyBusiness

තරංගානි ගාමන්ට්ස් විශිෂ්ටතම නැගී එන අපනයනකරුට හිමි ජනාධිපති සම්මානයෙන් පිදුම් ලබයි

By  | 

පසුගියදා පැවති 20 වන ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී 2014 වසරේ විශිෂ්ටත ම අපනයනකරුට හිමි සම්මානය දිනා ගැනීමට තරංගානි ගාමන්ට්ස් සමාගම සමත් විය. ශ්‍රී ලංකා අපනයන මණ්ඩලය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම සම්මාන උළෙල මෙවර අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මාතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.


1981 වසරේදී අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ආරම්භ කරන ලද ජනාධිපති අපනයන සම්මාන උළෙල, ශ්‍රී ලාංකේය අපනයන ක්ෂේත්‍රයට සුවිශේෂී දායකත්වයක් ලබා දෙන අපනයනකරුවන් ඇගයුමට ලක් කිරීම සඳහා සංවිධානය කෙරේ.

අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිනී සහ ප්‍රධාන විධායක නිලධාරිනී ඉන්දිරා මල්වත්ත මහත්මියගේ මගපෙන්වීම සහ සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම සහ ජාත්‍යන්තර වෙළඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ 2014 සහ 2015 වසර සඳහා ජනාධිපති අපනයන සම්මාන උළෙල සංවිධානය කෙරිණි.

විශේෂයෙන් සම්ප්‍රදායික නොවන නිෂ්පාදන සහ සේවා ක්ෂේත්‍රයේ නිරත, 2014 සහ 2015 වසරවලදී මෙරට අපනයන ක්ෂේත්‍රයට සුවිශේෂී දායකත්වයක් ලබා දුන් ව්‍යවසාය මෙමගින් ජාතික මට්ටමින් ඇගයුමට ලක් කෙරිණි. සමස්ත විශේෂ සම්මාන දහයක් සහ “භාණ්ඩ හා සේවා” ඛාණ්ඩයෙන් තවත් සම්මාන 93 ක් වශයෙන් සම්මාන 113ක් මෙහිදී ප්‍රදානය කෙරිණි.

“පළමු වරට විශිෂ්ටතම නැගී එන අපනයකරු ලෙස මෙලෙස සම්මානයට පාත්‍ර වීමට හැකි වීම පිළිබඳ අප ඉතා සතුටු වනවා. මෙය අපගේ කාර්යමණ්ඩල සාමාජිකයන්ගේ අඛණ්ඩ කැපවීම සහ වෙහෙස ඇගයුමට ලක් වීමක් ලෙස අප සලකන අතර, ඉදිරියේදීත් මෙවැනි ජයග්‍රහණ රැසක් අත්කර ගැනීමට හැකිවන බව අපගේ විශ්වාසයයි.” තරංගානි ගාමන්ට්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රුක්මාල් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

2013 වසරේදී තරංගානි ගාමන්ට්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී බවට පත් වූ ප්‍රනාන්දු මහතා එම වසරේ මුල් කාර්තුව තුළ සමාගමට සුවිශේෂී ආදායමක් අත්කර දීම වෙනුවෙන් පුරෝගාමී මෙහෙවරක් ඉටු කළේය.

1984 වසරේදී ආරම්භ කළ තරංගානි ගාමන්ට්ස් අපනයන මණ්ඩල අනුමැතිය ලත් සමාගමකි. ශ්‍රී ලංකාවේ සාර්ථකම විලාසිතා නිෂ්පාදකයෙකුවන තරංගානි ගාමන්ට්ස් සමාගම නම්‍යශීලි ඇනවුම් උසස් ප්‍රමිතියෙන් සහ කාර්යක්ෂමව ලබා දීම සඳහා ප්‍රබල නිෂ්පාදන දාමයක් ද තමන් සතුකර ගෙන ඇත.

වසර 30කට අධික සිය ගමන් මග තුළ තරංගානි ගාමන්ට්ස් සමාගම නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීම, කාර්යමණ්ඩල සාමාජිකයන්ගේ කුසලතා වර්ධනය සා ඒකාබද්ධ තාක්ෂණික ක්‍රමවේද හඳුන්වා දීම තුළින් ගෝලීය තරගකාරීත්වයට නොසැලී මුහුණ දීමට සමත්ව සිටී. යුරෝපය සහ රුසියාව පුරා විසිරී සිටින සිය ගැනුම්කරුවන්ගේ ජාලය කැනඩාව සහ ඔස්ට්‍රේලියාව පුරා ද ව්‍යාප්ත කිරීමට තරංගානි ගාමන්ට්ස් සමාගම මේවන විට ද සැලසුම් කර ඇත. කැනඩා සහ ඕස්ට්‍රේලියා වෙළඳපලේ සැලකියයුතු ප්‍රමාණයක් අත්පත් කර ගනිමින් මීළඟ වසර දෙකක කාලය තුළ ව්‍යාපාර ධාරිතාව පුළුල් කිරීම සමාගමේ මූලෝපායික සැලසුමයි.

තරංගානි ගාමන්ට්ස් සමාගම සතු දඹුල්ල, පිළියන්දල සහ පැපිලියාන කර්මාන්තශාලා තුළ කාර්යමණ්ඩල සාමාජිකයෝ 1000කට අධික සංඛ්‍යාවක් සේවය කරති. එම කර්මාන්තශාලා තුනෙහි මාසික නිෂ්පාදන ධාරිතාව ඒකක 225,000 කි. නිෂ්පාදන සංවර්ධනය, අලෙවිකරණය සහ නිෂ්පාදනය යන ක්ෂේත්‍රයන්හි සවිමත් ස්ථාවරත්වයකට හිමිකම් කියන තරංගානි ගාමන්ට්ස් සමාගමේ සැලසුම් සහ සංවර්ධන විදෙස් විශේෂඥයා විසින් ලොව නවත ම ප්‍රවණතාවලට අනුව විලාසිතා නිර්මාණය කරනු ලබයි.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit exceeded. Please complete the captcha once again.