fbpx

HappyEntertainment

සුමති සම්මාන උළෙල 2016

By  | 

ජාතියේ මහා කලා මංගල්‍යය හෙවත් සුමති සම්මාන උළෙල කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී 21 වැනි වරටත් අති උත්කර්ෂවත් අන්දමින් නිමාවට පත්විය. පසුගිය වසරේ රූපවාහිනී මාධ්‍යය ඔස්සේ සුවිශේෂී ප්‍රතිභාවන් පෙන්වූ කලාකරුවෝ සහ කලාකාරිනියෝ රැසක් එහිදී සම්මානයෙන් පිදුම් ලැබූහ.

ජාතික රූපවාහිනීයෙන් විකාශය වූ “විශ්ණු සංක්‍රාන්තිය” ටෙලි නාට්‍යයේ රඟපෑ ශ්‍රියන්ත මෙන්ඩිස් වසරේ හොඳම නළුවා ලෙසත්, දෙරණ රූපවාහිනී නාලිකාවෙන් විකාශය වූ “අම්මා” ටෙලි නාට්‍යයේ රඟපෑ නිල්මිණී තෙන්නකෝන් වසරේ හොඳම නිළිය ලෙසත් 2016 සුමති සම්මානයෙන් අභිෂේක ලැබූහ.


ස්වර්ණවාහිනියෙන් විකාශය වූ “දස්කොන්” ටෙලි නාට්‍ය සඳහා වසරේ හොඳම ටෙලි නාට්‍යයට හිමි සම්මානය පිරිනැමිණ. ජැක්සන් ඇන්තනී “දස්කොන්” ටෙලි නාට්‍යය වෙනුවෙන් වසරේ හොඳම අධ්‍යක්ෂවරයා ලෙස සම්මාන ලැබිය.
වැඩිම ජනතා මනාපය මත කාවිංග පෙරේරා වසරේ ජනප්‍රියම නළුවා ලෙසත් ඉෂාරා සඳමිණි ජනප්‍රියම නිළිය ලෙසත්, සම්මානයෙන් පිදුම් ලැබූහ. වසරේ ජනප්‍රියම ටෙලි නාට්‍ය සඳහා වන සම්මානය ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වූ
“කාසි වත්ත” ටෙලි නාට්‍යයට හිමිවිය.

කලාකරුවකුට හෝ කලාකාරිනියකට ජීවිතයේ එක්වරක් පමණක් හිමිවන යූ.ඩබ්ලිව්. සුමතිපාල අනුස්මරණ සම්මානය මෙවර හිමිවූයේ ප්‍රවීණ රංගන ශිල්පී අමරසිරි කලංසූරිය සහ ප්‍රවීණ රංගන ශිල්පිනී අනෝජා වීරසිංහටය. ඔවුන් දශක ගණනාවක් පුරා කලා ක්ෂේත්‍රය වෙනුවෙන් කළ අනූපමේය මෙහෙවර ඇගයුමට ලක් කරමින් මෙම සම්මාන පිරිනැමිණ.

පසුගිය වසරේ රූපවාහිනියෙන් විකාශය වූ සියලු වැඩසටහන් ආවරණය වන පරිදි සම්මාන 60කට අධික සංඛ්‍යාවක් මෙවර සුමති සම්මාන උළෙ‍ලේදී පිරිනැමිණ.

හොඳම රූපවාහිනී ගවේෂණශීිලී ප්‍රවෘත්ති වාර්තාකරණය වෙනුවෙන් දෙරණ රූපවාහිනී නාලිකාව ප්‍රථම ස්ථානයෙන් පිදුම් ලබද්දී එහි දෙවන ස්ථානය ස්වර්ණවාහිනිය දිනා ගත්තේය. හොඳම කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණය ට හිමි සම්මාන ස්වාධීන රූපවාහිනියට හිමිවද්දී එහි දෙවන ස්ථානය ස්වර්ණවාහිනියට හිමි විය.

වසරේ නැගී එන නළුවා ලෙස රුවන් පෙරේරාත්, නැගී එන නිළිය ලෙස දිනූෂා රාජපතිරණත් සම්මාන දිනාගනු ලැබිය.
හොඳම ටෙලි නාට්‍ය ගායනයට හිමි සම්මානය මෙවර දිනාගත්තේ “දස්කොන්” ටෙලිනාට්‍ය වෙනුවෙන් ඉන්දිකා උපමාලි විසිනි. හොඳම පූරක ලෙස දෙරණ රූපවාහිනි නාලිකාවේ වසන්ති නානායක්කාර සම්මානයෙන් පුද ලබද්දී හොඳම ප්‍රවෘත්ති නිවේදක ලෙස ස්වර්ණවාහිනියේ නදීක කරුණානායක සම්මානයට ලක්විය. එහි දෙවන සහ තෙවන ස්ථාන පිළිවෙළින් සුනේත්‍රා කුමාරි (ජාතික රූපවාහිනිය) ඉම්රාන් හමීඩ් (ස්වාධීන රූපවාහිනිය) දිනා ගත්හ.

හොඳම රූපවාහිනී ක්‍රීඩා වැඩසටහනට හිමි සම්මානය ස්වර්ණවාහිනී නාළිකාව වෙනුවෙන් දිනාගනු ලැබුවේ මංජුල බස්නායක ය. ඒ “ස්‍පෝර්ට්ස් හිට්ස්” වැඩසටහන වෙනුවෙනි.

හොඳම ළමා තාරකාව ලෙස ඉෂානි අස්මිණි පෙරේරා මෙවර සුමති සම්මානයෙන් අභිෂේක ලැබිය. 21 වැනි සුමති සම්මාන උළෙ‍ලේ මයුර කාංචන පෙරේරා හොඳම සහය නළුවා ලෙස සම්මානයෙන් පුද ලබද්දී ග්‍රේස් තෙන්නකෝන් හොඳම සහය නිළියට හිමි සම්මානයට හිමිකම් පෑවාය. සන්තුෂ ලියනගේ අධ්‍යක්ෂණය කළ ජාතික රූපවාහිනියෙන් විකාශය වූ “නවාතැන්‍පොළ” මෙවර සුමති සම්මාන උළෙ‍ලේ හොඳම ඒකාංගික ටෙලි නාට්‍ය විය.

හොඳම වාර්තා වැඩසටහන ලෙස පූජිත දිසානායක අධ්‍යක්ෂණය කොට ජාතික රූපවාහිනියෙන් විකාශනය වූ “සිරිලක කටුසු පරපුර” සම්මානයෙන් පුද ලබද්දී හොඳම කාලීන වැඩසටහනට හිමි සම්මානය ජයමිණි ඉ‍ලේපෙරුම දිනාගත්තේ ජාතික රූපවාහිනියෙන් විකාශය වූ “සමාජ මෙහෙවර” වෙනුවෙනි.


රංගන ප්‍රේමරත්න සහ සුනේත්‍රා කුමාරි එක්ව අධ්‍යක්ෂණය කළ ජාතික රූපවාහිනියෙන් විකාශය වූ “ෆීල් ඔෆ් යූත් – යොවුන් වසන්තය” හොඳම සංගීත වැඩසටහන විය. ස්වර්ණවාහිනියෙන් විකාශය වූ “රතු අහස” ටෙලි නාට්‍ය වෙනුවෙන් හොඳම සංස්කරණයට හිමි සම්මානය තිවංක උඩගෙදර දිනා ගත්තේය. හොඳම කලා අධ්‍යක්ෂවරයා ලෙස ධම්මික හේවාදුවත්තත් (දස්කොන්) හොඳම කැමරා අධ්‍යක්ෂවරයා ලෙස ධමිමික රත්නායකත් (දස්කොන්) සුමති සම්මානයෙන් පිදූම් ලැබිය.

එක් එක් රූපවාහිනී නාලිකා ඉදිරිපත් කරනු ලැබූ විශේෂාංග ඇතුළු ගායන සහ නර්තනාංග රැසකින් මෙවර සුමති සම්මාන උළෙල විචිත්‍රවත් විය. සම්මාන උළෙල සජීවීව දැකබලා ගැනීමට අවස්ථාව නොලැබුණු ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂ්ක ජනතාව වෙනුවෙන් ඊයේ (18) රාත්‍රී 10.00 සිට ස්වාධීන රූපවාහිනී සේවය ඔස්සේ සුමති සම්මාන උළෙල විකාශය කෙරිණ.

credit:Lakbima


Facebook Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × 5 =

Time limit exceeded. Please complete the captcha once again.

Do NOT follow this link or you will be banned from the site!