fbpx

HappyTech

SLIIT එක්සත් රාජධානියේ Bentley Motors වෙනුවෙන් මෙරට පර්යේෂණ හා සංවර්ධන ඒකකයක් ස්ථාපිත කරයි

By  | 

මෙරට ප‍්‍රමුඛ පෙළේ උසස් අධ්‍යාපන ආයතනයක් වන SLIIT, ගෝලීය ස්වයං ක‍්‍රියාකාරී රථ වාහන ක්ෂේත‍්‍රයේ පර්යේෂණ හා සංවර්ධන කටයුතු වලට අවශ්‍ය නව පර්යේෂණ ඒකකයක් මෙරට තුළ ස්ථාපිත කර ඇත. මෙම නව පර්යේෂණ ඒකකය SLIIT උසස් අධ්‍යාපන ආයතනය තුළ ස්ථාපිත කිරීමට හැකිවීම සුවිශේෂී සංධිස්ථානයක් සටහන් කළ අවස්ථාවකි.

SLIIT උසස් අධ්‍යාපන ආයතනයේ සභාපති සහ ප‍්‍රධාන විධායක නිළධාරි ලලිත් ගමගේ මහතාගේ අදහසකට අනුව මෙම නව පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය ගොඩනැගී ඇත. SLIIT උසස් අධ්‍යාපන ආයතනයේ යාන්ත‍්‍රික ඉංජිනේරු පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හා Bentley CAE ව්‍යාපෘති කළමනාකාර ආචාර්ය මාලික පෙරේරා මහතා මෙම පර්යේෂණ ඒකකයේ ප‍්‍රධානත්වය දරන්නේය.

dr-malika-620x360

ආචාර්ය මාලික පෙරේරා මහතා සාන්ත පීතර විද්‍යාලයෙන් සිය මූලික අධ්‍යාපනය හැදෑරූ අතර මොරටුව විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකු ද වෙයි. ඉන් අනතුරුව එක්සත් රාජධානියේ ලෝග්බරෝ විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය හිමිකරගැනීමට ද මාලික පෙරේරා මහතා සමත් වූවේය. මාලික පෙරේරා මහතා සිය ආචාර්ය උපාධිය වෙනුවෙන් රථ වාහන ගති විද්‍යා විශ්ලේෂණය පිළිබඳ විශේෂ හැදෑරීමක් සිදුකළේය. ෆෝඩ් මෝටර් රථ සමාගම මගින් එතුමාගේ ව්‍යාපෘතියට අවශ්‍ය අරමුදල් දායකත්වය ලබාදුණි. මාලික පෙරේරා මහතා සිය ආචාර්ය උපාධිය හැදෑරීමෙන් පසු ෆෝඩ් සමාගමට අයත් මෝටර් රථ නිෂ්පාදන සමාගම් වන ජගුවර් හා ලෑන්ඞ් රෝවර් වැනි සමාගම් වලට ද සිය දායකත්වය ලබාදුන්නේය.

අනවශ්‍ය ඝෝෂාව, කම්පනය හා කර්කශ හඬ නොනැගෙන NVH වාහන ක්ෂේත‍්‍රයේ තාක්ෂණික විශේෂඥයෙකු ලෙස මාලික පෙරේරා මහතා නම්කළ හැකිය. එමෙන්ම, එතුමා ස්වයංක‍්‍රීයව ක‍්‍රියාකරන රථ වාහන ක්ෂේත‍්‍රයට අදාළව ජාත්‍යන්තර මට්ටමින් කටයුතු කර පළපුරුද්ද හිමිකරගත් අයෙකි. මාලික පෙරේරා මහතා එක්සත් රාජධානියේ බෙන්ට්ලි මෝටර් රථ සමාගමට අයත් වොක්ස්වැගන් සමාගම් සමූහය තුළ පසුගිය වසර පහක කාලය පුරා කටයුතු කළේය.

ස්වයං ක‍්‍රියාකාරීත්වයෙන් යුතු රථ වාහන ක්ෂේත‍්‍රයේ ඔහු සතු දැනුම මෙරට තුළ භාවිත කිරීම සඳහා මාලික පෙරේරා මහතා මෙරටට පැමිණ SLIIT සමග අත්වැල් බැඳගත්තේය. බෙන්ට්ලි මෝටර් රථ සමාගමේ සුවිශේෂී ඉල්ලීම වූයේ ස්වයං ක‍්‍රියාකාරීත්වයෙන් යුතු රථ වාහන ක්ෂේත‍්‍රය පිළිබඳ මාලික පෙරේරා මහතා සතු අත්දැකීම් හා SLIIT උසස් අධ්‍යාපන ආයතනයේ පර්යේෂණ පහසුකම් දායක කරගමින් බෙන්ට්ලි මෝටර් රථ සමාගම වෙනුවෙන් සුවිශේෂී පර්යේෂණ වල නියැලීම යන්නයි. මෙහිදී විශේෂයෙන් බෙන්ට්ලි මෝටර් රථ සමාගම NVH ගැටළු ඇතිවුණු ඔවුන්ගේ රථ වාහන ආකෘති විශ්ලේෂණය කිරීමට මාලික පෙරේරා මහතාගේ සහය ඉල්ලා සිටියේය. ඒ අනුව මාලික පෙරේරා මහතා මේ වනවිට SLIIT උසස් අධ්‍යාපන ආයතනයේ යාන්ත‍්‍රික ඉංජිනේරු පීඨයට සම්බන්ධ වී සිය පර්යේෂණ වල නියැලෙමින් සිටින්නේය.

මෝටර් රථ නිෂ්පාදනයේ නියැලෙන සියලූම සමාගම් පාහේ හැමවිටම කාබන් විමෝචනය අඩුකිරීම වෙනුවෙන් වු නව තාක්ෂණික අත්හදාබැලීම් සිදුකරමින් සිටිති. එමෙන්ම, මීට ප‍්‍රතිවිරුද්ධව දිගුකල් පවත්නා හා මනා ක‍්‍රියාකාරීත්වයෙන් යුතු වාහන මිලදීගැනීමට පාරිභෝගිකයින් අතර ඉහළ ඉල්ලූමක් පවතියි. එම පරස්පර විරෝධී ඉල්ලීම් සමබර කිරීමට පවතින එකම ක‍්‍රමය වන්නේ සැහැල්ලූ බවින් වැඩි නමුත් දිගුකල් පවත්නා අමුද්‍රව්‍ය යොදාගනිමින් මනා ක‍්‍රියාකාරීත්වයෙන් යුතු එන්ජින් යොදාගනිමින් වාහන නිර්මාණය කිරීමයි. මෝටර් රථ නිෂ්පාදකයින්ට ලෝක වෙළඳපල සමග තරග කිරීමට නම් ඔවුන්ගේ නිෂ්පාදන අනවශ්‍ය ඝෝෂාවක් ඇතිනොවන හා කම්පන ප‍්‍රතිවිරෝධී ලෙස නිවැරදි තාක්ෂණය යොදාගනිමින් නිපදවිය යුතු අතර ඊට අදාළ පහසුකම් වලින් SLIIT පර්යේෂණ ඒකකය මනාව සංවිධානය වී ඇත.

SLIIT පර්යේෂණ ඒකකය සතු සම්පත් යොදාගනිමින් රථ වාහන වැඩි දියුණු කිරීමේ මනා තාක්ෂණය මෙන්ම මෘදුකාංග වල උපකාරයෙන් යුතුව ඉහළ තාක්ෂණයෙන් යුතු මෝටර් රථ නිපදවීමට මාලික පෙරේරා මහතා කටයුතු කරන්නේය. SLIIT උසස් අධ්‍යාපන ආයතනයට මෙමගින් ස්වයං ක‍්‍රියාකාරී තාක්ෂණය ආශ‍්‍රිතව කටයුතු කරන ලොව ප‍්‍රමුඛ පෙළේ අනෙකුත් පර්යේෂකයින් සමග තරග කිරීමේ අවස්ථාව ද හිමිවෙයි.

මීට මාස හයකට පෙර ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය තවදුරටත් SLIIT උසස් අධ්‍යාපන ආයතනයේ දී සිදුකිරීමට නියමිතය. ඉංජිනේරු ක්ෂේත‍්‍රයේ විශේෂඥ දැනුම හා එන්ජින් පරික්ෂා කිරීමට අදාළ තාක්ෂණික දැනුම ද මෙහිදී SLIIT සිසුන්ට හිමිවෙයි. එන්ජින් ක‍්‍රියාකාරීත්වය, කම්පනය ඇතිවන පවර්ටේ‍්‍රන්, ඉලාස්ටෝමර්ස් හා එහි ස්වභාවික ක‍්‍රියාකාරීත්වය ආදිය මෙම පර්යේෂණ මගින් අවධානයට ලක්කිරීමට සැලසුම් කර ඇත. SLIIT උසස් අධ්‍යාපන ආයතනයේ ඉදිකිරීමට නියමිත නව ඉංජිනේරු පීඨ ගොඩනැගිල්ලේ පුළුල් පහසුකම් වලින් යුතුව ඉදිකිරීමට නියමිත ස්වයං ක‍්‍රියාකාරීත්ව තාක්ෂණය මුසු වූ විද්‍යාගාරයේ කටයුතු වලට අවශ්‍ය යෝජනා ද මේ වනවිට සම්පාදිතය.

‘‘SLIIT උසස් අධ්‍යාපන ආයතනයේ නව පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය තුළින් විශේෂයෙන්ම ඉංජිනේරුවිද්‍යාව හදාරන සිසුන්ට ඔවුන්ගේ දැනුම හා හැකියාවන් ප‍්‍රායෝගිකව යොදාගැනීමට අවස්ථාව හිමිවනු ඇති. මෙම ව්‍යාපෘතිය දියත් කිරීමේ ප‍්‍රධාන අරමුණ වී තිබෙන්නේ සිසුන්ගේ විශ්ලේෂණාත්මක හා චින්තන හැකියාව කර්මාන්තයේ අවශ්‍යතාවන්ට අනුව වර්ධනය කිරීමට අවශ්‍ය පහසුකම් සැපයීමයි.’’ ආචාර්ය මාලික පෙරේරා මහතා පැවසුවේය.

‘‘පර්යේෂණ පිළිබඳ දැඩි උනන්දුවෙන් පසුවෙන SLIIT සිසුන්ගේ දායකත්වයත් සමග ෆෝමියුලා වන් මෝටර් රථ හා සමාන මට්ටමට මෝටර් රථ දියුණු කිරීමට අවශ්‍ය පර්යේෂණ සිදුකිරීමේ අපේක්ෂාවෙන් සිටියි. රථ වාහන පරිහරණය කිරීම, රථ වාහන වල වෙනස්කම් හා ආකෘතීන් වල එකතුවෙන් යුතුව පවතින පරිසරය තුළ අඩු ආයෝජනයකින් රේසිං මෝටර් රථයක් වැඩිදියුණු කිරීමට හැකිවනු ඇත.’’ ආචාර්ය මාලික පෙරේරා මහතා වැඩිදුරටත් පැවසුවේය.

මෙම පර්යේෂණයේ ප‍්‍රමුඛ අරමුණ වන්නේ ස්වයං ක‍්‍රියාකාරීත්වයෙන් යුතු රථ වාහන ක්ෂේත‍්‍රය පිළිබඳ පර්යේෂණ සිදුකිරීම වන අතර මාලික පෙරේරා මහතාගේ විශ්වාසය වී තිබෙන්නේ වෙනත් අනෙකුත් ක්ෂේත‍්‍රයන් වලට ද මෙම ක‍්‍රමවේදයන් යොදාගත හැකිවනු ඇති බවයි. මෙම ව්‍යාපෘතියට දායක වන සිසුන්ට හිමිවන පර්යේෂණ දැනුම තුළින් ඔවුන් තෝරාගත් වෘත්තිය තුළ ද දීප්තිමත් වෘත්තීය අනාගතයක් හිමිවනු ඇත.

‘‘රථ වාහන විශ්ලේෂණ කටයුතු මෙහෙයවන බොහෝ දෙනෙකු සිටිනවා. කෙසේවුවත්, අප සිදුකරන රථ වාහන බහු ගතික විශ්ලේෂණය සුවිශේෂී වනවාක් මෙන්ම කාලයේ අවශ්‍යතාවක් ද වී තිබෙනවා.’’ සිය විශේෂඥ දැනුම පිළිබද වැඩිදුරටත් පැහැදිලි කළ ආචාර්ය මාලික පෙරේරා මහතා පැවසුවේය.

SLIIT උසස් අධ්‍යාපන ආයතනය තුළ මෙම ව්‍යාපෘතිය සිදුකිරීම මගින් SLIIT මෙරට පුරෝගාමී අධ්‍යාපන ආයතනයක් වන බව තවදුරටත් තහවුරු කළ බව මාලික පෙරේරා මහතාගේ අදහසයි. SLIIT උසස් අධ්‍යාපන ආයතනයට මෙවැනි ජාත්‍යන්තර මට්ටමේ ව්‍යෘපෘතියකට දායකත්වය ලබාදීමට හැකිවීම මෙරට අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ සුවිශේෂී සංධිස්ථානයක් වන බව නිසැකය. මෙරට විශ්වවිද්‍යාල වලට ද ජාත්‍යන්තර මට්ටමේ පිළිගැනීම හිමිවන මෙවැනි පර්යේෂණ සිදුකළ හැකි වීම ද ලාංකිකයන් වන අපට මහත් ආඩම්බරයකි.

Facebook Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

13 − 13 =

Time limit exceeded. Please complete the captcha once again.

Do NOT follow this link or you will be banned from the site!