HappyTech

ශ්‍රී ලාංකේය රේසිං මෝටර් රථයක් නිපදවා ජාත්‍යන්තරය ජයග්‍රහණය කිරීම මොරටුව විශ්ව විද්‍යාලය සහ ඩීමෝ එක්ව සමරයි.

By  | 


මොරටුව සරසවියේ දක්ෂයින් තැනූ “D-Mora P1” රේසිං රථය Formula Student UK 2016 හිදී සම්මාන 3ක් දිනාගනියි.

මොරටුව විශ්ව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පිඨයේ සිසුන් විසින් මෙරට ප්‍රමුඛතම රථවාහන සමාගමක් වන සීමාසහිත ඩීසල් හා මෝටර් ඉංජිනේරු පොදු සමා‍ගමේ (ඩීමෝ) සහය ඇතිව නිපදවූ “D-Mora P1” රේසිං රථය සිසුන් අතර පැවැත්වෙන ලොව ප්‍රමුඛතම මෝටර් රථවාහන තරඟාවලිය වන Formula Student UK 2016 හිදී සම්මාන 3ක් දිනාගනියි.

එක්සත් රාජධානියේ සිල්වර්ස්ටෝන් සර්කිට් හිදී පැවති මෙම තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කණ්ඩායමක් ඉදිරිපත් වූ ප්‍රථම අවස්ථාව මෙයයි. මෙම තරඟාවලිය සඳහා ලොව රටවල් 30 කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් කණ්ඩායම් 130කට අධික සංඛ්‍යාවක් ඉදිරිපත්ව සිටියහ. කාර්මික ඉංජිනේරුවන්ගේ ආයතනය විසින් සංවිධානය කළ මෙම තරඟාවලිය ලොව පුරා අධ්‍යාපනික ආයතන ආශ්‍රිතව සංවිධානය කෙරෙන ලොව ප්‍රධානතම මෝටර් රථවාහන තරඟාවලියයි. මෙම තරඟාවලිය යටතේ වසරක් තුළදී තනි අසුනේ රේසිං මෝටර් රථයක් නිර්මාණය කිරීම, සැකසීම සහ සහ ධාවනය කිරීම යන අභියෝග මෙම තරඟාවලියට ඉදිරිපත් වන සිසුන් වෙත පැවරේ. එමෙන්ම එලෙස නිර්මාණය කළ රේසිං රථය පරීක්ෂාකර බැලීමෙන් පසුව ජයග්‍රාහකයින් තෝරා ගැනීම සිදුකෙරේ. උපාධිධාරීන් සීමිත පිරිසක් ෆෝමියුලා 1 පිළිබඳව ප්‍රගතියක් ලබා ඇති අතර සිය ගණනක් වූ උපාධිධාරීන් ලොව ප්‍රමුඛතම රථවාහන නිෂ්පාදනය කරන ආයතන වල හෙටට ඔබින මෝටර් රථ නිපදවීමේ සහ නිර්මාණය කිරීමේ කාර්යයට දායක වෙමින් සිටියි.

මෙම තරඟාවලිය සඳහා ඩීමෝ සමාගමේ සහය ඇතිව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ මොරටුව විශ්ව විද්‍යාලයේ කණ්ඩායම වන Team SHARK කණ්ඩායම 18 දෙනෙකුගෙන් සමන්විත වන අතර එහි නායකත්වය හර්ෂන කේලාශ විසින් දරනු ලැබීය. එම තරඟාවලියෙන් සම්මාන 3ක් හිමිකරගැනීමට Team SHARK කණ්ඩායම සමත් වූ අතර “Class 1 හි හොඳම ආධුනිකයා“ සහ “කැපවීම සඳහා Formula Student සම්මානය“ මෙන්ම “හොඳම තනි පුද්ගල ධාවකයා “ සඳහා වන සම්මානය යන සම්මාන ත්‍රිත්වය එලෙස හිමිකරගන්නා ලදී. මෙහිදී “හොඳම තනි පුද්ගල ධාවකයා “ට හිමිවු සම්මානය සිය ධාවන කුසලතා මැනවින් දැක්වූ ඉදුවර මුණසිංහ වෙත හිමිවිය. මෙම තරඟාවලිය Class 1 සහ 2 වශයෙන් අංශ දෙකකින් පැවති අතර නිර්මාණ ඉදිරිපත් කිරීමේදී Class 1 සඳහා නිර්මාණ ඉදිරිපත් කිරීම අභියෝගාත්මක එකක් විය. Team SHARK කණ්ඩායම විසින් මේ සඳහා ඉදිරිපත් කළ රේසිං රථය දැඩි පරීක්ෂාවට ලක් කරමින් එහි හැඩය,බ්‍රේක් පද්ධතිය, ශබ්දය ආදී සියලු අංශ කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින් නිපදවා ඇත. මාදිලිය, වියදම සහ තිරසාර භාවය මෙන්ම ව්‍යාපාරික ඉදිරිපත් කිරීම ආදී කරුණු සැලකිල්ලට ගනිමින් Team SHARK කණ්ඩායම සිය නිර්මාණය සාර්ථකව ඉදිරිපත් කළ අතර ස්කිඩ් පෑඩ්, ඇක්සලේටර්, කෙටි ධාවනය, පැවැත්ම සහ ඉන්ධන පිරිමැස්ම ආදී කරුණු ද සැලකිල්ලට ගනිමින් මෙම රේසිං රථය නිර්මාණය කර තිබේ.

D-Mora P1 රේසිං රථයේ දළ සැලැස්මේ සිට ඉදිකිරීම දක්වා එය නිම කිරීම සඳහා වසර දෙකකට අධික කාලයක් ගතවී ඇති අතර මේ සඳහා වන මූලික වියදම විශ්ව විද්‍යාල සිසුන් සහ ආචාර්යවරුන් අතර ටිකට් පත් අලෙවියෙන් ලබාගෙන තිබේ. 2008 වසරේ ඉංජිනේරු පිඨ ශිෂ්‍ය කණ්ඩායම එම අරමුදල් රැස්කරගනිමින් මෙම රේසිං රථයේ දළ සැලසුමට අදාල චැසිය දෙල්කඳ පිහිටි ඇඩ්වාන්ස් ඉන්ජිනියරින් ආයතනයේදී නිමවා ඇති අතර පසුව ඊට අදාල ප්‍රතිපාදන පිළිබඳව ගැටලුවක් මතුවී තිබේ.
පසුව මේ සඳහා ඩීමෝ සමාගම සහය දැක්වීමත් සමඟ ජාත්‍යන්තරව තරඟ කිරීමට සුදුසු සුපිරිතම ෆෝමියුලා රේසිං රථයක් නිපදවීමට මෙම සිසු කණ්ඩායම සමත් වී තිබේ.සියඹලාපේ,වැලිවේරිය සහ කොළඹ පිහිටි ඩීමෝ පරිශ්‍රයන් තුළ දී ඉදිකෙරුණු මෙම රේසිං රථය ජාත්‍යන්තර මට්ටමේ රේසිං රථයක් දක්වා වර්ධනය කිරීමට විශේෂඥ උපදෙස් සහ මඟපෙන්වීම් ඩීමෝ සමාගම විසින් ලබාදී තිබේ.

ඩීමෝ සමාගමේ සභාපති සහ කළමණාකාර අධ්‍යක්ෂ රංජිත් පණ්ඩිතගේ මහතා සඳහන් කළේ ජාත්‍යන්තරය හමුවේ සිය දක්ෂතා දැක්වූ මොරටුව විශ්ව විද්‍යාලයේ සිසු කණ්ඩායම මව්බිමට ජාත්‍යන්තර කීර්තියක් අත්කරදී ඇති බවයි.මෙමඟින් ලොව ඕනෑම රටක් සමඟ තරඟ කිරීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව ප්‍රදර්ශණය කිරීමට මෙම සිසුන් සමත්වී ඇති බව පෙන්වාදුන් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ මෙම සුවිශේෂි කර්තව්‍යයට සම්බන්ධ වීමට ඩීමෝ සමාගමට අවස්ථාව හිමිවීම මහත් භාග්‍යයක් ලෙස සලකන බවයි. එමෙන්ම ඉදිරි වසර කිහිපය තුළ තවත් ඉලක්ක රැසක් කරා යාමට මෙම කණ්ඩායමට හැකියාව ලැබෙනු ඇතැයි හෙතෙම වැඩිදුරටත් පැවසීය.

සිසුන්ගේ මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දැක්වූ ඩීමෝ සමාගමේ අධ්‍යක්ෂ විජිත බණ්ඩාර මහතා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ ඉංජිනේරුමය කුසලතාව ලෝකය හමුවේ ස්ථාපිත කරමින් Team SHARK කණ්ඩායම මේ ලැබූ ජයග්‍රහණය සුවිශේෂි එකක් වන බවයි. මුල්ම වරට ජාත්‍යන්තර මට්ටමේ තරඟාවලියකට ඉදිරිපත් වෙමින් හිමිකරගත් මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකා වාසීන් සියලු දෙනාටම මහත් අභිමානයක් බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පීඨාධිපති මහාචාර්ය කමල් පෙරේරා මහතා සඳහන් කළේ මොරටුව විශ්ව විද්‍යාලය මෙරට ඉංජිනේරුමය අධ්‍යාපනයේ ප්‍රමුඛයා බව මෙම ජයග්‍රහණය සමග යළිත් වරක් තහවුරු කර ඇති බවයි. මොරටුව විශ්ව විද්‍යාලයෙන් බිහිවන උපාධිධාරීන් ලෝකයට අභියෝග කිරීමට සූදානම් බවද මෙයින් පැහැදිලි වන්නේ යැයි හෙතෙම සදහන් කලේය. Formula Student UK 2016 සඳහා මුල් වරට සහභාගි වූ කාර්මික ඉංජිනේරු පීඨයේ Team SHARK කණ්ඩායම ඉන් සම්මාන 3ක් දිනාගැනීම ශ්‍රී ලංකාවට මහත් ගෞරවයක් බවත් පීඨාධිපතිවරයා සඳහන් කළේය. ඉදිරි වසර කිහිපය තුළදී මෙම Formula Student කණ්ඩායම කැපී පෙනෙන කාර්ය භාරයක් ඉටු කරනු ඇති බව ද මෙහිදී පැවසූ ඒ මහතා මෙම ජයග්‍රහණය කරා යාමේදී අනුග්‍රාහකත්වය සහ තාක්ෂණික දායකත්වය දක්වමින් මෙරට ඔටෝ මොබයිල් රේසිං තාක්ෂණය ප්‍රජාව අතර ප්‍රචලිත කිරීමට ඩීමෝ ලබාදුන් සහයෝගය අගය කරන බව ද හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

Team SHARK කණ්ඩායමේ නායක හර්ෂණ කේලාශ මහතා සඳහන් කළේ Formula Student UK තරඟාවලිය සඳහා සහභාගි වූ ප්‍රථම අවස්ථාවේදී සම්මාන 3ක් මව්බිමට රැගෙන ඒමට හැකිවීම මහත් ගෞරවයක් බවයි. රටක් ලෙස සහ විශ්ව විද්‍යාලයක් ලෙස ඒ සම්බන්ධයෙන් සතුටට පත්වන බව හෙතෙම පෙන්වා දුන්නේය. මෙම ව්‍යාපෘතිය සඳහා මීට පෙර සිය ජ්‍යෙෂ්ඨ සිසු කණ්ඩායම් ගත් උත්සාහයන් විවිධ හේතූන් මත අසාර්ථක වූ බවත්, නමුත් එම අභියෝග සියල්ල ජයගැනීමට තම කණ්ඩායමට හැකිවීම පිළිබඳව අතිශයින් සතුටු වන බවත් හෙතෙම සඳහන් කළේය. මූලික වශයෙන් එක්රැස් කරන ලද අරමුදල් වලින් දළ සැලැස්ම සහ චැසිය නිර්මාණය කළ බවත් ඉන් ඔබ්බට මෙම රේසිං රථය නිපදවීමට අවශ්‍ය මූල්‍ය පසුබිමක් නොමැති වීමෙන් අර්බුධයකට ලක්ව සිටි බවත් හර්ෂණ කේලාශ මහතා පවසයි. ඒ පිළිබඳව “සන්ඩේ ටයිම්ස්“ පුවත්පතේ පළවූ ලිපියක් අනුව ඩීමෝ සමාගමේ අධ්‍යක්ෂ විජිත බණ්ඩාර මහතා තම කණ්ඩායම හමුවී මෙම කර්තව්‍යය ඉදිරියට ගෙනයාමට අවශ්‍ය තාක්ෂණික සහ මූල්‍ය ශක්තිය ලබාදීමට එකඟ වූ බවත් ඒ අනුව මෙම රේසිං රථය නිදපවා මව්බිමට කීර්තියක් අත්කරදීමට තම කණ්ඩායමට හැකිවූ බවත්, එම ශක්තිය පදනම් කරගනිමින් තැබූ පියවර අඛණ්ඩව ඉදිරියට ගෙනයාමට අපේක්ෂා කරන බවත් හෙතෙම අවධාරණය කළේය.

Team SHARK කණ්ඩායමේ සාමාජිකයින්
• Mr. Harshana Kelasha (Team Leader)
• Mr. Rajive Wisidagama (Technical Director)
• Mr. Chathura Semasinghe (Operational Manager)
• Mr. Sajith Edirisinghe (Financial Manager)
• Mr. Nushen Senivirathna (Chief Engineer – Chassis)
• Ms. Sachithra Atapattu (Chief Engineer – Chassis)
• Mr. Rukmal Dhanushka (Chief Engineer – Power Train)
• Mr. Praneeth Weerathunga (Chief Engineer – Steering)
• Mr. Isuru Mudalige (Chief Engineer – Vehicle Dynamics)
• Mr. Induwara Munasinghe (Chief Engineer – Electrical)
• Mr. Amith Mudugamuwa (Marketing Director)
• Mr. Buddhi Herath (Event Coordinator)
• Mr. Thushara Sandakalum (Assistant Engineer – Power Train)
• Mr. Kasun Harshana (Assistant Engineer – Power Train)
• Mr. Shameen Kamburugamuwa (Assistant Engineer – Chassis)
• Mr. Navoda Lakshan (Assistant Engineer – Brakes and Dynamics)
• Mr. Jaliya Chinthaka (Assistant Engineer –Suspension)
• Mr. Buddhika De Alwis (Assistant Engineer – Steering)