Sinhala

“ගුරාගේ” සම්ප්‍රාප්තියෙන් ප්‍රබල වෙනසක් නියතයි

By  | 

අසංක ගුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් කලමනාකරු ලෙස පත්කළ පුවත අසා බොහෝදෙනා ප්‍රීතියට පත්වූයේ ප්‍රධාන කරුණු තුනක් පදනම් කරගෙනය.  පැවරූ කාර්යය ඉටු කිරීමට ඔහු තුළ තිබූ දක්ෂතාවය, අනිවාර්යයෙන්ම කණ්ඩායම් වෙනසක් ඇති කර ගෙනයාමට මොහුගේ හැකියාව ගැන විශ්වාස හා අතීතයේ දී ඔහුට සිදු වූ අසාධාරණයන්ට මෙමගින් හෝ යම් කිසි සාධාරණයක් ඉටුවීම එම කරුණුය.  ගුරුසිංහගේ නව පත්වීම 7 වැනිදා (අඟහරුවාදා) ගාල්ලේ පැවැත්වෙන ශ්‍රී ලංකා – බංග්ලදේශ ප්‍රථම ටෙස්ට් තරගයෙන් ආරම්භ වේ.  දක්ෂ පුහුණුකරුවකු වන චන්දික හතුරුසිංහ තම ජාතික පුහුණුකරු ලෙස පත් කිරීමට බංග්ලාදේශය ගත් තීරණයට වඩා ගුරුසිංහගේ දායකත්වය ලංකා කණ්ඩායම වෙනුවෙන් ලබාගැනීම කුමන අයුරකින් හෝ ඵලදායි වනු ඇතැයි  හැ‍fඟ්.

Asanka Gurusinha

ඉහත සඳහන් කළ කරුණු තුන ගැන කතා කිරීමට වඩා ගුරුසිංහ කවුදැයි වත්මන් පරපුරට හඳුන්වාදිම වැදගත්ය.  ගුරුසිංහ යනූ තරගයක ප්‍රතිඵලයක් වෙනස් කළ හැකි පරාජයට යන කණ්ඩායමක් ජයග්‍රහනය කරා පරිවර්තනය කළ හැකි සුලබ ඝණයේ ක්‍රීඩකයෙකි.  මෙවැනි කෙළින්ම පාසලෙන් ජාතික කණ්ඩායමට පැමිණි ක්‍රීඩකයන් රැසක්ම අතීතයේ සිටියත් වර්තමානයේ එවැනි ක්‍රීඩකයන් දුලබය.  තරග වෙනස් කරන ක්‍රීඩකයන් පිළිබඳව මෑතක සිදු වූ නිදර්ශනයක් පෙන්වනවානම් එය ගිය මස ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා දෙවන 20 – 20 තරගයේ දී අසේල ගුණරත්න කණ්ඩායම ජයග්‍රහනය කරා ගෙන ගිය අයුරුයි.  එහෙත් තරග වෙනස් කළ හැකි ක්‍රීඩකයෙකු යැයි අප පවසන්නේ තරගයක දී හෝ දෙකක දී එය කර පෙන්වීම නොව තරග හත අටක දී එය ඉෂ්ඨ කිරීමය.


මේ ලිපියෙන් පෙන්වාදීමට උත්සහ ගන්නේ අසංක ගුරුසිංහ එම තනතුරටත් පත් කිරීම කෙතරම් කාලෝචිත ද හා ඔහු පිළිබඳව ප්‍රථම ඡේදයේ සඳහන් වූ කරුණු තුන පිළිබඳවය.  ගුරුසිංහ ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට කළ සේවාව පිළිබඳව ලිවීමෙන් පවක් නොවන්නේ ඔහු විශාල කැප කිරීමක් සිදු කර ඇති හෙයිනි.

අසංක ගුරුසිංහගේ සමීපතමයන් හා හිත මිත්‍රාදීන් එහු අමතන්නේ “ගුරා” යන නමිනි.  ගුරාගේ ටෙස්ට් හා එක්දින තරග පිළිබඳව සඳහන් කිරීමට පෙර ඔහුගේ කුඩා කළ හා පාසල් දිවිය පිළිබඳව සඳහන් කරමි.  ගුරුසිංහගේ පියා මාණ්ඩලික නිලධාරියෙකි.  මවගේ වාසගම මොල්ලිගොඩය.  ඔවුන් ජීවත් වූයේ කොළඹ නාලන්දා පාසල අසල කුප්පියාවත්ත ප්‍රදේශයේ ය.  නාලන්දාව විශිෂ්ඨ ඝණයේ ටෙස්ට් ක්‍රිකට් ගණනාවක්ම දැයට බිහි කළ අතර අසංක ගුරුසිංහ එක් අයෙකි.  ඔවුන් දක්ෂ ක්‍රීඩකයන් බවට පත් කිරීමට එදා ක්‍රියා කළ ප්‍රධාන පුහුණුකරුවා වූයේ ජේරී ගුණරත්න මහතාය.   නාලන්දාවෙන් බිහි වූ ස්ටැන්ලි ජයසිංහ ලංකාවට ගෞරවයක් අත්කර දුන් අයෙකු පමණක් නොව එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩාව ද බැබළ වු අයෙකි.  ප්‍රථම ටෙස්ට් නායක බන්දුල වර්ණපුර ලලිත් කලුපෙරුම අනුර රණසිංහ රොෂාන් මහනාම අසංක ගුරුසිංහ සනත් කලුපෙරුම කුමාර ධර්මසේන නාලන්දාවෙන් බිහි වූ විශිෂ්ඨයන් කිහිප දෙනෙකි.  මෙයින් කිහිප දෙනෙකුම පාසල් කණ්ඩායමේ නායකත්වය ද දැරීය.  මෙයින් රොෂාන් මහානාම 1983 – 84 වසරවල ද අසංක ගුරුසිංහ 1985 වසරේ ද නාලන්දාවේ නායකත්වය දැරූ අතර, එම වසරවල ඔවුන් වසරේ දක්ෂතම පාසල් ක්‍රිකට් ක්‍රීඩක සම්මානයෙන් ද පිදුම් ලැබීය.

අසංක ගුරුසිංහ උපත ලද්දේ 1966 සැප්තැම්බර් 16 වැනිදා ය.  ඔහු පවුලේ එකම  පිරිමි දරුවා වූ අතර වැඩිමහල් සහෝදරියෝ වුහ.  පාසලෙන් කෙළින්ම ජාතික කණ්ඩායමට ඔහු එක්වූයේ 1985 නොවැම්බර් 7 වැනිදා පාකිස්තානය සමගය.  ලංකා කණ්ඩායමේ අංක 3 ස්ථානය දක්ෂ වමත් පිතිකරුවකු ලෙස ඔහු මනාව ඉටු කළේය.  එකළ අද තරම් ටෙස්ට් එක්දින තරග බහුල සමයක් නොවීය.

වසර 11ක ට සීමා වූ ඔහුගේ ටෙස්ට් ක්‍රිකට් කාලය තුළ දී ටෙස්ට් තරග 41ක ට සහභාගි වී ශතක හතරක් අර්ධ ශතක අටක් සමග ලකුණු 2452ක් ලබාගත්තේ ඉනිමක සාමාන්‍ය ලකුණු 38.92ක් ලබමිනි.  එක්දින තරග 147ක දී ඔහු ශතක දෙකක් අර්ධ ශතක 22ක් සමග ලකුණු 3902ක් ලැබීය.

තරග ජයග්‍රහනය කළ ඉනිම කිහිපයක්ම ගුරුසිංහගේ පිත්තෙන් වාර්තා වී තිබේ.  1996 මාර්තු 17 ලාහෝරයේ ලෝක කුසලාන අවසාන මහා තරගයේ දී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියාවේ ලකුණු 244ක් වැනි සංඛ්‍යාවක් හඹායද්දී ආරම්භක පිතිකරුවන් දෙදෙනා සනත් ජයසුරිය සහ කලු විතාරණ මුළු ලකුණු 11දී දැවී බලාපොරොත්තු අතහැරෙද්දි ගුරුසිංහ (65) උපනායක අරවින් ද සිල්වා (නොදැවී ශතකයයි) සමග එක්ව තෙවන කඩුල්ලට එක් කළ ලකුණු 125න් ලංකා පිලට ජය මාවත විවෘත වී ප්‍රථම  වරට ලෝක කුසලානය ලංකා පිලට හිමිවිණි.  එම තරගාවලියේ දී ජයසූරිය හා කලුවිතාරණ මූලික තරගවල දී ප්‍රබල ලෙස දස්කම් පෑවත් අවසාන පූර්ව තරගයේ සිට ඔවුන් අසාර්ථක විය.  අවසාන තරගයේ දී මෙන්ම  අවසාන පූර්ව තරගයේ දී ත් මොවුන් දෙදෙනා අසමත් වූ අවස්ථාවේ ලංකා පිල ජයග්‍රහනය කරාගෙන යාමට මුල්වූයේ ඉන්දියාව සමග එම තරගයට පෙර දිනය පුරාම උදර ආබාධයකින් පෙළී නිරාහාරව සිටි රොෂාන් මහානාමය.  ලෝක කුසලාන තරගාවලියෙන් පසු මොවුන්ට දේශ බන්ධ වූ සම්මානය පිරිනැමිණි.

සම්මාන පිරිනැමුන ද ගුරුසිංහට සහ රොෂාන් මහානාමට තරම් අසාධාරණයන්ට ගොදුරු වූ ක්‍රීඩකයන් වෙත නොමැති තරම්ය.  මොවුන් දෙදෙනාම ලංකා කණ්ඩායමේ ටෙස්ට් නායකත්වය දැරිය යුතුම සුදුසුකම් තිබු දෙදෙනෙකි.   එහෙත් “අදිසි හස්ත” ඒවා වළකාලුවේය.  මහානාම විශ්‍රාම ගැනීමෙන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුවේ තරග තීරයෙකු වීම රටට ගෞරවයකි.  ලෝක කුසලානය දිනා වසරක් යාමටත් පෙර ගුරුසිංහ කණ්ඩායමෙන් ඉවත්ව ඕස්ට්‍රේලියාව බලා ගොස්  III කොටසේ පුහුණුකරුවකු හා ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත පුහුණුකරු උපදේශකයෙකු ලෙසත් මාධ්‍ය ආයතනයක දැන්වීම් කලමනාකරැවකු ලෙසත් සේවය කළේය.  ඔහු විවාහ වූයේ මෙරට ගුවන් සේවිකාව සමගය.

මෙවර ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකා හා ඕස්ට්‍රේලියා සංචාරවල දී ලංකා කණ්ඩායමේ යම් යම් දුර්වලතා සකසා ගැනීමට අසංක ගුරුසිංහට මෙහි එන ලෙසට ආරාධනා කළ යුතු බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර හා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල යන මහත්වරු කළ ආරාධනයක් අනුව ගුරුසිංහ ලංකා කණ්ඩායමේ ක්‍රිකට් තලමනාකරු ලෙස එක් වේ.    දැන් මාගේ දරුවන් ලොකුයි ඒ නිසා මට ආරාධනය පිළිගන්න පුළුවන් යැයි ගුරුසිංහ ප්‍රකාශ කළේය.  අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් ලංකා කණ්ඩායමට 96 ලෝක කුසලානය දිනාගත් අවස්ථාවේ තරගාවලියට පෙර ඕස්ට්‍රේලියානුවන් හා කොදෙව්වන් ශ්‍රී ලංකාවට ඒම ප්‍රතික්ෂේප කළ අවස්ථාවේ (ජනවාර්ගික ප්‍රශ්ණ මත ආරක්ෂාව නොමැති බව කියමින්) ඉන්දීය පාකිස්තාන ඒකාබද්ධ කණ්ඩායමක් ගෙන්වා එවැනි තත්ත්වයක් නොමැති බව පෙන්වීමට මුලින්ම සාකච්ඡා කළේ එදා ක්‍රිකට් උප සභාපති වත්මන් සභාපති තිලංග සුමතිපාල මහතාය.  ඔහු ද නාලන්දාව නියෝජනය කළ ප්‍රබල ක්‍රීඩකයෙකි.

ගුරුසිංහට භාෂාව හැසිරවීමේ හා වත්මන් ක්‍රීඩකයන් සමග ලෙන්ගතු වීමේ හැකියාව හොඳින් පවතින හෙයින් අඟහරුවාදා (7) සිට ඔහුගේ නව පත්වීමට එය ආශිර්වාදයක් වනු ඇත.

– බන්දුල මොල්ලිගොඩ –

source: http://www.srilankacricket.lk/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit exceeded. Please complete the captcha once again.